FAST NEWS

24×7 Around the Globe

බටහිර පර්යන්තයට ආයෝජනය කිරීම අදානි සමාගම තහවුරු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කර තිබේ.   

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගෞතම් අධානී මහතා පවසන්නේ, ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට කෘතවේදීත්වය පිරිනමන බවයි.

මෙම හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික අන්‍යෝන්‍ය සබඳතාවයේ සංඛේතයක් බවට ගෞතම් අධානි මහතා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් අදානී පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ තම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව ඉදිකර ක්‍රියාත්මක කර පවරාදීමේ පදනම මත වසර 35ක කාලයක් කොළඹ වරායේ බටහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.