FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස හිමිවූ ඔක්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉදිරි සති දෙක තුළ දී දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.   

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා,

” අපිට ලක්ෂ 5කට විතරයි මුදල් ගෙවන්න කිව්වේ මුලින්. ඒ අයගේම ඉල්ලීම. ඉතුරු 10 දෙනකොට මුදල් ගෙවන්න. මුදල් තියා ගෙන ඉන්න එක ඒ අයගේ ප්‍රතිපත්තිවලට අනුකුල නෑනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ලක්ෂ 5 ලැබෙන්නේ කවදාද කියන එක ගැන. නමුත් මට තියෙන තොරතුරු අනුව පොරොන්දුවක් දීලා තියෙන්නේ ඉන්දියන් රජයත් මේකට මැදිහත් වෙනවා ඒ නිසා මම හිතනවා ඉතුරු මිලට ගන්නා දෙවැනි ලක්ෂ 5 සති දෙකක් ඇතුළත අපිට ලැබෙයි කියන විශ්වාසය මා තුළ තියෙනවා. ”

මේ අතර , කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා මෙරටට ලැබුණු කොවිඩ් එන්නත මේ වන විට පුද්ගලයින් 750,000 කට අධික සංඛ්‍යාවකට ලබා දී තිබේ.

ඊයේ (10) දිනයේත් තවත් පුද්ගලයින් 8,323 දෙනෙකුට එන්නත ලබා දී අවසන්ව ඇති අතර මේ දක්වා එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 752,298ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.