FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුළ අද දිනයේ පුද්ගලයින් 57,000 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.   

ඒ අනුව වයස අවුරුදු 30ත්, 60ත් අතර පුද්ගලයින් සඳහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ 27,018 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622 ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710 ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිතව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජා-ඇල හා කැලණිය යන සෞඛ්‍ය බලප්‍රදේශවල පුද්ගලයන් හටත් මෙම එන්නත්කරණය සිදුකිරීමට නියමිතව තිබේ.