FAST NEWS

24×7 Around the Globe

සිනමා කර්මාන්තය වසර 2කට විනෝද බද්දෙන් නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලබා දෙයි.

ඒ කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා දෙවසරක කාලයකටය.

කොවිඩ් වසංගතය හමුවේ  සහන ලබාදෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවක් අනුව මෙය ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හා බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් එක්ව අද දිනයේ මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව 2021-2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් වේ.

2023 වසරේ සිට සිනමා කර්මාන්තයට අදාළ විනෝද බද්ද සියයට 7.5ක් දක්වා අඩු කිරීමට ද එහිදී අනුමැතිය දී තිබේ.