අමතර කොටස් නොගෙන්වා අලුත්වැඩියා කටයුතු මග හැරීම හේතුවෙන් එස්-8 වර්ගයේ බලවෙග කට්ටල දුම්රිය එන්ජින් 05ක් අබලන්ව ධාවනයෙන් ඉවත් කර තවත් එවන් එන්ජින් 05ක් නඩත්තු නොකරමින් අබලන් වීමට ඉඩ හැර ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය දුම්රිය බලධාරීන්ට චෝදනා කරයි.
396/13/P MTU වර්ගයේ එන්ජිමකින් එස්-8 වර්ගයේ දුම්ය බලවේග ක්ට්ටල සැලකිය යුතු කාලයක් ධාවනයේ යෙදවිය හැකි බවත් අලුත්වැඩියා කරමින් වසර 05ක් ඒවා ධාවනයේ යෙදවුව ද වර්තමානයේ ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එම සංගමය චෝදනා කරයි.
පසුගිය කාලයේ සිටි දුම්රිය බලධාරීන් අදාළ එන්ජින් නඩත්තුව මගහරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර එමගින් දුම්රිය මැදිරි 20ක් පමණ ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇතැයිද පැවසේ.
එන්ජින් නඩත්තුවට අවශ්‍ය පිස්ටන් බෙයාරිං සහ එන්ජින් නඩත්තුවට අවශ්‍ය උපාංග ජපානයෙන් ගෙන්වීමේ හැකියාව තිබියදී හා සිගප්පූරුවෙන් අමතර කොටස් ගෙන්වා ගැනීමට අවශ්‍යතාව තිබියදී බලධාරීන් එය මඟ හැර ඇති බවද දුම්රිය පොදු සේව සංගමය පවසයි.
කෙසේ වුවද වඩා දිගු කාලයක් ධාවනයේ යෙදවිය හැකි උපාංග භාවිත නොකිරීමෙන්, අලුත්වැඩියා නොකිරීමෙන් දුම්රිය සේවය තව දුරටත් අභාවයට යනු මිස නවීකරණය වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි යැයි ද සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.







