FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10) පැවැත්විය.   

වෛරසය මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

දැනට මෙම වෛරසය වැළදී මිය යන පුද්ගලයෙකුගේ දේහ තුළ වෛරසය දින 36ක් පමණ පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත්තේ.

සෞඛ්‍යයට බලපාන කරුණු මුල් කර ගනිමින් ජාතීන් සහ ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියළු ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.