FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් එක් බන්ධනාගාරයක් තුළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරදිකරුවන් වී බන්ධනාගාරගත වී සිටින රැඳවියන් පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.    

බන්ධනාගාර ආශ්‍රිතව පැතිරයන කොවිඞ්-19 වෛරසය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම වැඩපිළිවෙල කඩිනම් කිරීමට තීරණය කර ඇත.

එවැනි පුනරුත්ථාපන වැඩසටහන් සම්පූර්ණ කළ රැඳවියන් PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය කොට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එහිදී උපදෙස් දී තිබේ.

ඒ සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයත්, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය හා ඒ සඳහා සුදුසු ස්ථාන යොදාගන්නා ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යාංශය කියා සිටියි.

බන්ධනාගාර තුළ වෙසෙන කොවිඩ් ආසාදිත රැඳවියන් එක් බන්ධනාගාරයක් තුළට යොමුකොට අදාළ සෞඛ්‍ය පහසුකම් ලබාදීම තවත් යෝජනාවක්.

මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ රැඳවියන් 8000 ක් පමණ මේ වනවිට බන්ධනාගාර තුළ සිටින බව රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.