FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 35ක් පිස්තොල ඉල්ලති.

ආරක්ෂාව සඳහා රිවෝල්වර වෙනුවට පිස්තෝල ලබාදෙන ලෙස නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ පිළිබඳව තවත් සාකච්ඡා කිහිපයක් සිදුකිරීමට නියමිත බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාදයන්ට අනුව සිය පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවියක් ඉල්ලා සිටිය හැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සේවා කාර්යාංශයෙන් එම ඉල්ලීම සිදුකළ යුතු අතර, අනතුරුව එය කාර්යාංශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ඉදිරිපත් කරනු ලබයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා අදාළ ඉල්ලීම සහතික කොට ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉල්ලීම කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙත ගිනි අවියක් භාවිත කිරීමට අවසර ලබාදීම සිදුවේ.

මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් 61 දෙනෙකු තේරී පත් වූ අතර ඔවුන් අතුරෙන් 35 දෙනෙකු දැනට පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි ඉල්ලා තිබේ.

ඔවුන් පාර්ලිමේන්තු සේවා කාර්යාංශය වෙත ඉදිරිපත් කළ ඉල්ලීමේ සඳහන්ව ඇත්තේ සාමාන්‍යයෙන් ආරක්ෂාව සදහා ලබාදෙන රිවෝල්වර වලට වඩා තාක්ෂණයෙන් දියුණු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල ලබාදෙන ලෙසයි.

මේ අතර, ආරක්ෂාවට ලබාදෙන ගිනි අවි භාවිතා කිරීම පිළිබඳව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි දින කිහිපය තුළ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පුහුණුවක් ලබාදීමට ද නියමිතව තිබේ.

ඒ සඳහා සහභාගි වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යොමුකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.