FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න යළි නිවා දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න ඒකාබද්ධ ආපදා කළමනාකරණ කණ්ඩායම්වල මෙහෙයුම් මගින් අද අලුයම වන විට සාර්ථකව පාලනය කිරීමට හැකිව තිබේ.

නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වන විට නෞකාවෙන් ගිනි දැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්ෂණය නොවන බවයි.

කෙසේ වෙතත් ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙනයාම සිදුකරමින් පවතින බව ද නාවික හමුදාව කියා සිටී.

ඒ අනුව අදාළ නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 37ක් ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වභාවය සහ දැඩි සුළං ප්‍රවාහය ද හමුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

නෞකාවට කිලෝමීටරයක් පමණ දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඩීසල් ඉන්ධන පැල්ලමක් පෙර දින සවස් කාලයේ නිරීක්ෂණය කර ලද අතර ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අදාළ ඩීසල් ඉන්දන පැල්ලම තිබූ ප්‍රදේශය වෙත විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කඩිනමින් කටයුතු කර තිබේ.