ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙකුගේ අභාවයන් සම්බන්ධයෙන් නැවතත් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමිනි.
ලක්‍ෂ්මන් කදිරගාමර්, කිංස්ලි රාජනායගම්, අරුණාචලම් තංගදොරේ, ජෝෂප් පරරාජසිංහම්, නඩරාජා රවිරරාජ්, ටී. මහේෂ්වරන් සහ ද.මු. දසනායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මරණ සම්බන්ධයෙන් ඔහු මෙම පරීක්ෂණ ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඝාතනයට ලක්වීමේ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව පසුගියදා වාර්තාවිය.
පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඝාතනයට ලක්වීමේ සිද්ධින් පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණකි.
මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන රහස් පොලීසිය නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.







