FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ සේවය කරන විදේශිකයින්ට බද්දක් පැනවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.   

අදාළ නිවේදනයට අනුව මෙරට සේවායෝජකයින් සහ සේවා නියුක්තිකයන්ට දැනුම් දී ඇති ආකාරයට 2020 ​අප්‍රේල් 01 වැනි දින බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට විකල්ප පදනම මත‘අත්තිකාරම් පුද්ගල බද්ද’ලෙස මෙය හඳුන්වා දී තිබේ.

ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විදිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔුවන්ගේ වැටුපින් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුයි.

කෙසේ වෙතත් අදාළ එකඟත්වය අවශ්‍ය වන්නේ නේවාසික සහ මෙරට පුරවැසියන් වන සේවා නියුක්තිකයන් සඳහා පමණයි.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු යන්නෙන් පුරවැසි පනත යටතේ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් ඇතුළුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දරන තැනැත්තන් අදහස් කෙරෙන බවද එම දෙපාර්තමේන්තුව නිනුත්කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එම තත්ත්වය මත පදනම්ව 2020 අප්‍රේල් 04 දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට සේවයේ නියුතු සියලුම නේවාසික සේවා නියුක්තිකයන්ගෙන් සහ සියලුම වාසික එහෙත් පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් ‘එකඟතාව නොසලකා’අත්තිකාරම් පුද්ගල බද්ද අය කිරීම අනිවාර්ය වේ.