FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති අදත් ජනපති කොමීසම හමුවට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (16) නැවතත් පෙනී සිටියි.

එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ ඔවුන් අද පෙරවරු 09ට යළි කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීතීඥයන් ඉදිරිපත් කළ විරෝධතාවක් හේතුවෙන් කොමිසමේ කටයුතු ඊයේ (15) තාවකාලිකව අත්හිටුවනු ලැබීය. ඒ අද උදෑසන එය නැවතත් කැඳවීමේ තීරණය ද සමගයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන මහජන සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහායි.

අදාළ සිද්ධියේ වගඋත්තරකරුවන්ගේ පාර්ශවයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොමිසමට පැමිණි අතර, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැමිණියේ මහජන සාක්ෂි ලබාදීමේ අවස්ථාවට සහභාගිවීම සඳහායි.

මීට අමතරව ස්වාධීන රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති, හිටපු සාමාන්‍යාධිකාරී සහ හිටපු අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ද ඊයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

කෙසේ වෙතත්, මහජන සාක්ෂි විමසීම් සිදුකෙරෙන අතරතුර හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් තර්කයක් ඉදිරිපත් කළේය.

එමඟින් ඔවුන් පෙන්වා දුන්නේ මෙවැනි ජනාධිපති කොමිෂන් සභාවක නිලධාරීන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.
ඊට අමතරව මහාධිකරණ විනිසුරුවරයෙකුට සිය ක්‍රියා පටිපාටියෙන් බැහැරව මෙවැනි කටයුත්තක නිරත විය නොහැකි බවටද ඔවුන් තර්කයක් ඉදිරිපත් කළේය.

ජනාධිපති කොමිසම මගින් විභාග කෙරෙන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ ජනාධිපතිවරණ සමයට අදාළ කරුණක් බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ වනවිට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බැවින් ඔහු ජනාධිපතිවරයා ලෙස පත්කරන ලද කොමිසමකට මෙය විභාග කිරීමේ බලයක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් ඉදිරිපත් කළ තර්කයේ වැඩිදුරටත් සඳහන්ය.

කෙසේ වෙතත්, මෙම නීති තර්කය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම තීරණය කළේ ඊයේ (15) දිනයේ කටයුතු අද (16) දක්වා කල් දැමීමටයි.