යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා එල්ල කොට නඩුපවරනු ලැබූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ එවක බෑණනුවන් වූ ධනුන තිලකරත්න මහතා අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.
යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම වෙනුවෙන් පෙනී සිට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට ධනුන තිලකරත්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.
අදාළ නඩුව අද(15) කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර තිලකරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දක්වමින් පවසා ඇත්තේ අදාළ උපකරණ මිලදී ගැනීමට මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ තම සේවාදායකයා නොවන බවයි.
එමෙන්ම අද නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නීතිඥවරයා පවසා ඇත්තේ තමන් නඩු විභාගය අවසන් කරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය නඩුවේ තීන්දුව ලබාදෙමින් පවසා සිටියේ ධනුන තිලකරත්න මහතා නිදොස් කොට නිදහස් කරන බව යයි අප වාර්තාකරු පවසයි.







