FAST NEWS

24×7 Around the Globe

අල්ලස් මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. 

අදාළ පොලිස් පරීක්ෂකයා විසින් රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද එම පොලිස් පරීක්ෂකවරයා අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට ඉදිරිපත් කරනු ලැබීය.

යක්කල පොලීසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරුණි.

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක සැකකරුවකුට නියම කර ඇති ඇප කොන්දේසි ලිහිල් කර දීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත්තේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම සැකකාර පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුට ගෙන තිබුණි.