දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නොවැම්බර් මස 04 වන දින දක්වා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර ලබාදී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (14) මෙම අවසරය ලබාදුන් බව අප වාර්තාකරු පවසයි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 11 වන දින ප්‍රකාශයක් සිදුකිරීමට ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා මඩකලපු මෙරියාල් දේවාලයේ නත්තල් පූජාවේ යෙදී සිටියදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා නාඳුනන තුවක්‌කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
එලෙස ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව සැකකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මීට පෙරාතුව පිල්ලෙයාන්ගේ ගෝලයින් යයි පැවසෙන දෙදෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.







