FAST NEWS

24×7 Around the Globe

අලුත්ගම සිදුවීමට පොලිස්පතිගේ නියමයෙන් පරීක්ෂණ දෙකක් අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අලුත්ගම මාර්ග බාධකයක් අසළදී 16 හැවිරිදි ළමයෙකු පොලිස් නිලධාරීන් විසින් මෙල්ල කිරීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇත.   

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ මෙම සිද්ධියේදී එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වෙතින් යම් රාජකාරී පැහැරහැරීමක් සිදුවී ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

අදාළ ළමයා කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ලැබී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය කියාසිටියේ මාර්ග බාධකයේ සිටි නිලධාරීන් මුල් අවස්ථාවේ දී මෙම පාපැදිකරු මානසික රෝගියෙකු බවට හඳුනාගෙන නොමැති අතර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අයෙක් බවට සැක මතුවී ඇති බවයි.

පොලිසිය පාපැදිකරු මෙල්ල කර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති අතර පහරදීමක් සිදුකර ඇතැයි මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.