FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනපති කාර්ය සාධක බලකායක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට තීරණය කර තිබේ.

පුරාවස්තු විනාශය පිළිබඳ විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට පැවති අවස්ථාවේදීයි ගෝඨාභය රාජපක්ෂ මේ බව කියාසිටියේය.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව සම්බන්ධයෙන් මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි අතර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩකටයුතු දැනටමත් අරඹා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

තවද සියලූ අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බෞද්ධ උපදේශක සභාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.