FAST NEWS

24×7 Around the Globe

මහනුවර රෝහලේ උරස් ශල්‍ය ඒකකය මාසයක් තිස්සේ අකර්මන්‍යයයි.

මහනුවර ශික්ෂණ රෝහලේ උරස් ශල්‍ය ඒකකයේ සැත්කම් හා විශේෂිත පරීක්ෂණ දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ නතර වී තිබෙනවා.

සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ අලුත්වැඩියා කිරීමක් සඳහා මෙම ඒකකය වසා දමා ඇති බවයි. කෙසේ වෙතත් නියමිත කාලයට අලුත්වැඩියාව අවසන් කිරීමට හෝ සැත්කම් හා පරීක්ෂණ සඳහා විකල්ප ස්ථාන ලබාදීමට බලධාරීන්ගේ උනන්දුවක් නොමැති බවට ඔවුන් චෝදනාවක් ද කරනවා.

එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පැවසුවේ මහනුවර ශික්ෂණ රෝහලේ උරස් ශල්‍ය ඒකකයට විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනෙකු පමණ ද, සාමාන්‍ය වෛද්‍යවරුන් 40 දෙනෙකු සහ හෙද කාර්යමණ්ඩලයේ 90 දෙනෙකු පමණ අනුයුක්ත කර සිටින බවයි.

සාමාන්‍යයෙන් දිනකට එහිදී සිදුකෙරුණු බයිපාස් සැත්කම් ගණන 3ක්. ඊට අමතරව හෘද කැතීටකරණ සැත්කම් 5ක් පමණ ද, හෘද රෝග හඳුනා ගැනීමේ ඇන්ජියෝග‍්‍රෑම් පරීක්ෂණ 5ක් පමණ ද දෛනිකව එහිදී සිදුකෙරුණා.