ආණ්ඩුව දිනෙන් දින කල් දමමින් තිබෙන පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට බල කරමින් සියලු පළාත් පාලන නියෝජිතවරුන්ගේ අස්සන් දසලක්ෂයකින් යුතු සන්දේශයක් හෙට (20දා) මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට බාරදීමට පළාත් පාලන ප්‍රධානීන්ගේ සංසදය සූදානම් වේ.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හෙට දින කිසිදු හේතුවකට මෙම අවස්ථාවෙන් මඟහැර සිටීමට කටයුතු නොකළ යුතු බවට එම සංසදයේ සභාපති උදේනි අතුකෝරල අවධාරණය කළේය.
ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත්, විෂය භාර අමාත්‍යවරයාත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව විවිධ මත ප්‍රකාශ කළද ජාත්‍යන්තරයේ වුවමනාව මත එය කල් දමන බවත් එහි අයිතිය තවදුරටත් ලබා නොදුනහොත් ඒ සඳහා බල කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
ඔහු පෙන්වාදෙන්නේ පළාත් පාලන ආයතන 337ක පාලනය එම ආයතනවල ලේකම්වරුන්ට භාරදී ඇති බැවින් මේ වන විට පළාත් පාලන සේවා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවය. විශේෂයෙන්ම ආණ්ඩුව විසින් බලයට පත් වී කොමිසම් 6ක් පමණ පත් කර ඇති අතර මැතිවරණ කොමිසමේ බලතල වහාම ක්‍රියාවට නැංවිය යුතු බවත් එසේ නොකර පළාත් පාලනය අකර්මණ්‍ය කරමින් ප්රජාතන්ත්රවාදය තවදුරටත් මෙලෙස වැළලීමට ඉඩ දිය යුතු නැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (18දා) බත්තරමුල්ල, නෙළුම් පෙදෙස කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී පළාත් පාලන ප්‍රධානීන්ගේ සංසදයේ ජාතික සංවිධායක සමන් ලාල් ප්‍රනාන්දු, කැඳවුම්කරු බොරලැස්ගමුව නගර සභාවේ නගරාධිපති අරුණ ප්‍රියශාන්ත, මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ඇතුළු මහත්ම මහත්මීහු කිහිපදෙනෙක් අදහස් දැක්වූහ.