සුරාබදු පනත උල්ලංඝණය කළ අයට නීතිමය පියවර

සුරාබදු පනත උල්ලංඝණය කළ අයට නීතිමය පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණය පැවති 16 සහ 17 යන දෙදින තුළදී මත්පැන් අලෙවිසැල් වසා තැබීමට කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබූ අතර , සුරාබදු පනත උල්ලංඝණය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

අදාළ දින දෙක තුළ සුරාබදු නිලධාරීන් දිවයින පුරා වැටලීම් 21 ක් සිදුකර ඇත.

නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මත්පැන් අලෙවි කිරීම, ප්‍රවාහනය කිරීම, බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් ලඟ තබා ගැනීම හා තීරු බදු නොගෙවන ලද දුම්වැටි අලෙවි කිරීම සහ ලඟ තබා ගැනීම යන චෝදනාවලට අදාලව එම වැටලීම් සිදුකර තිබේ.

අදාල වැටලීම් වලදී වරදකරුවන් වූ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට සහ මත්පැන් අලෙවි කල මත්පැන් අලෙවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.