අකිල විරාජ්ගෙන් විශේෂ නිවේදනයක්

අකිල විරාජ්ගෙන් විශේෂ නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය පිලිබදව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් බලවත් අවධානය යොමුව ඇති බව සඳහන් කරමින්.

එම නිවේදනය පහතින් ,

“සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව අපගේ බලවත් අවධානය යොමු වී ඇත.

ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් එහි මෙහෙයුම් ප්‍රධානීන් විසින් බාර දී තිබුණේ වොක්ෂෝල් වීදියේ මෙහෙයුම් කාර්යාලයටය. එහි මෙහෙයුම් ප්‍රධානී ලෙස හඳුන්වා දී තිබුණේ තිස්ස අත්තනායක මහතාය.

එකී මෙහෙයුම් කාර්යාලය විසින් සිරිකොත මූලස්ථානය වෙත පවරන ලද සියළු කාර්යයන් ඉතා සාර්ථක අන්දමින් ඉටු කර දී ඇත. ඊට අමතරව එම මෙහෙයුම් කාර්යාලය විසින් පක්‍ෂයෙන් ඉල්ලා සිටි සියළු සහයෝගය ද, සිරිකොත කාර්යාලය මගින් සිදුකළ අනෙකුත් සියළු කාර්යයන් ද අපි උපරිම ලෙසින් ලබා දුන්නෙමු.

මැතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් එකතු කිරීමේ වගකීම බාර ගෙන තිබුණේ ද වොක්ෂෝල් වීදිය මෙහෙයුම් කාර්යාලය විසිනි. ඒ නිසා අරමුදල්වල අනිසි භාවිතයක් වී නම් ඒ පිළිබඳ විමසා බැලිය යුත්තේ එම කාර්යාලය වෙතිනි.

මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ සමාලෝචන රැස්වීම් වාර ගණනාවක් නායකත්ව මට්ටමේ සිට පහළ මට්ටමේ නිලධාරීන් අතර නිතිපතා පැවැත්වුණු අතර, ඒ කිසිදු රැස්වීමක දී මෙවැනි චෝදනාවන් කිසිවෙකු විසින් එල්ල නොකළ බව ද මෙහිලා අවධාරණය කරමි”.