මෛත්‍රී ගෝඨාගේ මැතිවරණ වේදිකාවේ

මෛත්‍රී ගෝඨාගේ මැතිවරණ වේදිකාවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළකරමින් මැතිවරණ වේදිකාවලට ගොඩවීමේ සූදානමක් ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වය මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ නායකයන් සමග සාකච්ඡා කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන ආකාරයට මේ සම්බන්ධව පොදුජන පෙරමුණට සම්බන්ධ වී සිටින පක්ෂ නායකයන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් එතරම් කැමැත්තක් නොදක්වා ඇති අතර ඔවුන් දැඩි දෙගිඩියාවකින් පසු වේ.

මේ වන විට ගෝඨාභයගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු හා රැස්වීම් කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින නිසාවෙන් ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ රැස්වීම් වලට සහභාගී නොවීම වඩාත් සුදුසු බව බොහෝ දෙනෙකුගේ මතයයි.

පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව විසින් හූ හඬ නංවා විරෝධය පළ කිරීම නිසාත් ජනාධිපතිවරයාට ද විරෝධය පෑමක් සිදුවුවහොත් ශ්‍රීලනිපයේත් පොහොට්ටුවේත් පිරිස් අපහසුතාවට ලක්විය හැකි බව පොදුජන පෙරමුණට සම්බන්ධ නායකයෝ විශ්වාසය පළ කරති.

කෙසේ නමුත් , මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රධානීන්ට දැනුම් දී තිබුණේ තමන් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවන බවයි.