අද රාත්‍රියේ පළාත් රැසකට ප්‍රබල අකුණු සහිත තද වැසි

අද රාත්‍රියේ පළාත් රැසකට ප්‍රබල අකුණු සහිත තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සහිත තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට තද වැසි බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කරයි.

වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 – 80 ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේය.

මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් වූ නායයෑමට බලපාන වර්ෂාපතන සීමාවන් නිර්ණය කිරීමේ නව ක්‍රමවේදයක් සඳහා වූ පර්යේෂනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ආරම්භ කර තිබේ.

මෙහිදී මිලිමීටර 75 ක වර්ෂාපතනයක් ලැබුණහොත් අවධානයෙන් සිටින ලෙසත්, මිලිමීටර 100 ක වර්ෂාපතනයක් ලැබුණහොත් ඉවත්වීමට සූදානමින් සිටින ලෙසත්, මිලිමීටර 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබුණුවිට ඉවත්වන ලෙසත් මේ වනවිට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි.