පාසල් ළමුන්ට නිල ඇඳුම් සහ දිවා ආහාරය යළිත්

පාසල් ළමුන්ට නිල ඇඳුම් සහ දිවා ආහාරය යළිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන ජනපතිවරණයේදී තමා ඒ සදහා තේරී පත් වුවහොත් පාසල් ළමයින් සඳහා වසරකට නිල ඇඳුම් දෙකක් ලබාදෙන බවත්, දැනට නැවතී ඇති පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට යළි පණ දෙන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (14) බළන්ගොඩ නගරයේ පැවැති ජන හමුවකදී කියා සිටියේය. 

තම පියා දුප්පත් පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නමුත් වර්තමානය වනවිට එය නතරකර ඇතැයිද, තමන් ජනපති වූ පසු යළිත් වරක් පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට පණ දෙන බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය මේ වනවිට කඩාවැටි ඇති බැවින් එය යළි යාවත්කාලීන කරමින් ගොඩගන්නා බවත්, තේ, රබර් සහ එළවළු මෙන්ම සුළු අපනයන භෝග ආශ්‍රිතව ඇති වී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී එම ක්‍ෂේත්‍රවල ගොවි ජනතාවට යහපත් ආර්ථික තත්ත්වයක් උදා කරදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුරංග මැණික් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට එකතු විය.

මෙම අවස්ථාවට ඒ.ඒ. විජේතුංග, හේෂා විතාන යන මහත්වරුන්, හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.