ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයාට ප්‍රහාරයක්

ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයාට ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත අයි.එස්. සංවිධානයේ අනුගාමිකයෙකු ලෙස සැලකෙන සාහසිකයෙකු විසින් තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඉන්දුනීසියානු බැන්ටෙන් ප්‍රාන්තයේ නගරයකදී ආරක්ෂක අමාත්‍ය විරන්තෝ ඔහුගේ මෝටර් රථයෙන් ඉවතට ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ 72 හැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයා හෙලිකොප්ටරයක් මගින් ජාකර්තා නගරය වෙත රැගෙන විත් තිබේ.

ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයි.එස්. සංවිධානය සමඟ සබදතා පවත්වන ජමා අන්ෂාරුට් දවුලා නැමති සංවිධානයේ සාමාජිකයෙකු විසින් අතර පසුගිය වසරේ පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දුනීසියානු ක්‍රිස්තියානු දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළේ ද එම සංවිධානය විසිනි.

ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිය දෙවන ධුර කාලය ලබන සතියේ ආරම්භ කිරීමට සූදානම්ව සිටිද්දීයි.

ප්‍රහාරය එල්ල වූ ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍ය විරන්ටෝ 1968 වසරේදී එරට ජාතික හමුදා ඇකඩමියෙන් පුහුණුව ලබා පසුව හමුදාපති ධුරය දක්වා උසස්වීම් ලබා තිබේ.

නැගෙනහිර ටිමෝරය, ඉන්දුනීසියාවෙන් නිදහස ලැබීම සඳහා 1999 වසරේදී සිදුකළ අරගලයේදී ඔහු මෙහෙය වූ හමුදා ඝාතන 1000කට පමණ වගකිව යුතු බවට චෝදනා එල්ල වුනු අතර එම චෝදනා ප්‍රතික්ෂේප කළ විරන්ටෝ 2004 වසරේ ඉන්දුනීසියානු ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූ අතර එහිදී ඔහුට හිමි වූයේ 3 වන ස්ථානයයි.