FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තරුණයකු පැහැර ගත්තා යැයි වරද පිළිගනී…

ඉකුත් 2015 වසරේ දෙමටගොඩ ප‍්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදුන් බව කියන සිද්ධියකට චෝදනා ලැබ සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමට සූදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට දැනුම්දී ඇත.
ඒ අනුව මෙම දැනුම් දීම සළකා බැලූ විනිසුරුවරය‍ා නඩුව ලබන දෙසැම්බර් මස 11 වැනිදා කැඳවීමට නියම කළේය.
දෙමටගොඩදී අමිල ප‍්‍රියංග අමරසිංහ පුද්ගලයා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, අයුතු ලෙස සිරකිරීම, පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29 ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අදාළ නඩුව පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබූ මුල් අවස්ථාවේදීම ඒ මහත්මියගේ ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් නියම කළේය.
මීට අමතරව රුපියල් 1,65,000ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප‍්‍රදේශයේ තරුණයාට රුපියල් 2 ,85,000 වන්දියක් ගෙවීමට නියම කර ඇත.