FAST NEWS

24×7 Around the Globe

පිතිකරණයේ දුර්වල තැන් සහ පිටුපස සැලැස්ම තිලාන් කියයි..

දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු තරගයේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිතිකරණය පිළිබඳ තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර තරගයෙන් අනතුරුව මාධ්‍යය අමතමීන් පවසා සිටියේය.
තවද වර්තමානය පිළිබඳ සලකන විට විස්සයි-20 තරග ආකෘතියේ බලපෑම හේතුවෙන් පොතේ පහරවලට අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් නොමැති බවත් පොතේ පහරවල් අනුව ක්‍රිකට් ක්‍රීඩා කිරීම ප්‍රායෝගික නොවන බවත් හෙතෙම පවසයි
“දැන් ඉන්න ක්‍රීඩකයන් මානසිකව ආක්‍රමණශීලී වෙන්න ඕන. කිසිම කෙනෙක් පොතේ ක්‍රිකට් සෙල්ලම් කරන්නෙ නෑ. මම කතාකරන්නෙ සෑම පන්දුවකටම පහර එල්ල කරන එක නෙවෙයි. නිවැරදි පන්දුව තෝරාගෙන පහර එල්ල කරන්න ඕන. දැන් බොහොමයක් එක්දින තරගවලදී ලකුණු 320ක් 330ක් පමණ වාර්තා වෙනවා. පන්දුවාර 50 ම කඩුල්ලෙ රැඳී සිටින ක්‍රීඩකයන් ගැන අපි තවදුරටත් කතාකරන්නෙ නැහැ. තරගයක් දිනන්න නම් ලකුණු 300ට වඩා රැස් කළ යුතුයි. ඒ සඳහා අපි පිතිකරුවන්ට උපරිම නිදහස දීලා තියෙනවා’
‘ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙය ඉතාමත්ම දුර්වල පිතිහරඹයක්. තණතිල්ලෙ කිසිම ප්‍රශ්නයක් නෑ. තණතිල්ල වියළි එකක්. අපේ පළමු කඩුල්ල බිඳ වැටුණෙ ෆුල් ටොස් පන්දුවකට. ඊට පසුව අපේ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළේ නෑ. සියලු දෙනා දැවී ගියේ වැරදි පහරවලට යන්න තැත් කරද්දී. නමුත් ලකුණු 100කට ආසන්න ලකුණු සබඳතාවක් තිසර සහ කුසල් අතර ගොඩනැඟුණම ඉනිම යළිත් යථා තත්ත්වයට පත්වුණා. මුල් පන්දුවාර 10 තුළදී ලකුණු 30කට කඩුලු 5ක් බිඳ වැටුණු තත්ත්වයක් උඩ තරගයක් දිනන්න අමාරුයි’.
‘දකුණු අප්‍රිකාවේ ප්‍රබලතම පන්දු යැවීම තියෙන්නෙ පළමු පන්දුවාර 8ත් 10ත් තුළයි. ඉන්පසුව ඔවුන්ට පළපුරුදු පන්දු යවන්නන් අඩුයි. නමුත් අනපේක්ෂිත විදියට අපිට එම පන්දුවාර 10 තුළ කඩුලු රැක ගැනීමට නොහැකි වුණා. අපිට දඟ පන්දු යවන්නන් තුන් දෙනෙක් සිටින නිසා අපි සැලසුම් කළේ ලකුණු 275ක 280ක ඉලක්කයක් ලබා දෙන්න. නමුත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 193කට සීමා වීමත් සමඟ ඒ සියල්ල බිඳ වැටුණා’
DE සිල්වා