ආගමන සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ටර්න්බුල් පිට කසා ගනිති..

ආගමන සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ටර්න්බුල් පිට කසා ගනිති..

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් එක්ව ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී එකිනෙකාගේ ආගමන නීති-රීති සහ බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව පසසමින් සභාව ඇමතු බව වාර්තා වෙයි.
මෙතෙක් ඕස්ට්‍රේලියාවෙන් එක්සත් ජනපදයට ගිය විශාලතම දේශපාලන සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන් අගමැති ටර්න්බුල් පැවසුවේ ව්‍යාපාරික බදු අඩු කිරීමට ට්‍රම්ප් ගෙන ඇති පියවර ඔහු විසින්ද ඕස්ට්‍රේලියාවට හඳුන්වා දෙන බවයි.
“වෘත්තීය සුදුසුකම් ඇති අයට පමණක් ඕස්ට්‍රේලියාවේ රැකියා අවශ්‍යතා අනුව ආගමනය සඳහා ඉඩ සැලසෙන ප්‍රතිසංස්කරණ ක්‍රමය හොඳ ක්‍රමයක්” ජනාධිපති ට්‍රම්ප් පවසයි. එවැනි ක්‍රමයක් අප රටටත් යොදාගැනීම සුදුසු යැයි එහි සිටින ධවල මන්දිර නිලධාරින්ට ට්‍රම්ප් මතක් කර දුන්නේය. ඇමෙරිකාවට අවශ්‍ය ශ්‍රමික වෘත්තිකයින් පමණක් එරටට ගෙන්වා ගැනීමට පසුගිය මාස කීපය තුළ ඔහු ගත් උත්සාහයට එරට නීති අංශ සහ ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් දැඩිව විරෝධය පළ කළහ.
“එවැනි ආගමන ප්‍රතිපත්තියක් අප ර‍ටේත් ක්‍රියාත්මක කිරීමට අප විසින් මහත් උත්සාහයක් ගත්තා. අපි ඔබගේ අඩිපාරේ යෑමටයි සිතා ඉන්නේ” ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකානු ධනවතුන් සහ මහා පරිමාණ සමාගම්වලට සහන සැලසෙන අයුරින් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.5ක බදු කපා හැරීමක් ඉකුත් දෙසැම්බරයේ ට්‍රම්ප් විසින් නීතිගත කරන ලදී. “සමාගම් අංශයට බදු අඩු කරන විට සේවකයින්ට ඒ ප්‍රතිලාභ ගලායනවා. එවිට ආයෝජන තව තවත් ස්ථාවර වෙනවා. ඒ කියන්නේ වැඩි වැඩියෙන් රැකියා අවස්ථා උදාවෙනවා කියන එකයි.” අගමැති ටර්න්බුල්, ට්‍රම්ප්ගේ පියවර අගය කරමින් පැවසීය.
1918 දී ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව එක්ව පළමු ලෝක යුද්ධයේදී එක පිළක් සේ යුද වැදී වසර 100ක මිත්‍ර සබඳතා 2018 දී සැමරීම පිළිබඳවද රාජ්‍ය නායකයින් දෙදෙනාම මෙහිදී සඳහන් කළහ.
ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ සංක්‍රමණික ගැටලුව සම්බන්ධයෙන් ටර්න්බුල් සමඟ පැවති දුරකථන සංවාද රළු ස්වරූපයක් ගත් නිසා මීට වසරකට කලින් දෙරට අතර පැවතියේ දුරස්ථ බවක් මුත්, ධවල මන්දිරයේ පැවති මෙම රාජ්‍ය නායක දෙපළගේ සාකච්ඡාවලින් පෙනී ගියේ ඔවුන් දෙදෙනාම ඉතා කුළුපඟව ඇති බව යැයි විදෙස් වාර්තා කියයි.

 

CATEGORIES