FAST NEWS

24×7 Around the Globe

අනුමැතියකින් තොරව දන්තාලේප වෙළෙඳ දැන්වීම් නීති විරෝධියි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව දන්තාලේප පිළිබඳ මාධ්‍ය මගින් වෙළෙඳ දැන්වීම් පළ කිරීම නීති විරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ දන්තාලේප අලෙවි කිරීමේ දී මෙන්ම ඒවා පිළිබඳ වෙළෙඳ දැන්වීම් මාධ්‍ය ඔස්සේ පළ කිරීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබාගත යුතු බවයි.
එහෙත් වර්තමානයේ ඇතැම් දන්තාලේප පිළිබඳ දැන්වීම් නිසි අවසරයකින් තොරව පළ කරන බව තොරතුරු වාර්තා වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම්වත් කර නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
මාර්තු මස 20 වන දිනට යෙදී ඇති ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන්  ලබන 17 වැනිදා පාසල් සිසුන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් දන්ත කඳවුරක් පැවැත්වීමට නියමිතව ඇති බව ද  ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.