කොරෝනා නිසා ගාල්ලත් නොසන්සුන්

කොරෝනා නිසා ගාල්ලත් නොසන්සුන්

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල මාගාල්ලේ පදිංචි වෘත්තීය පුහුණු අධිකාරියේ මාතර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

ඒ සමගම වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පිහිටි ටැල්බට් ටවුම පළමුවන පටුමගේ ව්‍යාපාරිකයෝ පිරිසක් සිය වෙළඳසැල් වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඔවුන් මෙලෙස නොසන්සුන් වී ඇත්තේ ගාල්ල වෘත්තීය පුහුණු අධිකාරියේ වායුසමන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා එම නිලධාරියාගේ සමීපතමයකු පැමිණ ඇතැයි ලැබුණු තොරතුරක් මතය.

අද (23) උදෑසන ගාල්ල වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලයේ භාණ්ඩ වෙන්දේසියක් ද පැවැත්වු අතර ඒ සඳහා 100කට අධික පිරිසක් සහභාගී වී තිබේ.

වෘත්තීය පුහූණු අධිකාරිය ඉදිරිපිට වෙළෙඳ සැල් 10ක් පමණ වසා දැමූ එම ව්‍යාපාරිකයෝ වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලය විෂබීජහරණය කරන ලෙසත් වෙන්දේසිය නවතා දමන ලෙසත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට පැමිණිලි කර ඇත.

මාතර වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලයේ සේවය කරන මාගාල්ල පදිංචි ඒම නිලධාරියා පසුගිය දිනක උගුරේ ශල්‍යකර්මයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී කරන ලද පීසීආර් පරීක්ෂණයකට අනුව ඔහු ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.

මේ අතර කොරෝනා ආසාදිතයෙකු පැමිණ ඇති බවට වාර්තා වීමත් සමඟ ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ඊයේ දිනයේ තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට සහ සන්නිවේදන පියසට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට මේ වන විට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව අද උදෑසන තැපැල් කාර්යාලය වසා දමා එම පුද්ගලයාට සේවය සැපයූ එහි සේවකයින් නිරෝධායනට යොමු කර ඇත.

CATEGORIES