කටුනායක ප්‍රදේශය තුළ කොරෝනා වෛරසය පැතීරීමට හේතුව හෙළි කෙරේ

කටුනායක ප්‍රදේශය තුළ කොරෝනා වෛරසය පැතීරීමට හේතුව හෙළි කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඒ අවට වෙනත් කර්මාන්තශාලා වලින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත සේවකයින් 32 දෙනෙකු සොයාගෙන ඇත.

එයින් 30 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළිනුත් සෙසු රෝගීන් 02 දෙදෙනා මෙම කළාපයට පරිබාහිරව පිහිටි කර්මාන්තශාලා වලිනුත් සොයාගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට මෙම කටුනායක කළාපයෙන් හදුනා ගත් සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 152කි. එසේම මෙම කළාපයෙන් බැහැරව පිහිටි කර්මාන්තශාලා වලින් සොයා ගත් සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 18 දෙනෙකු බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කළේය.

කටුනායක ප්‍රදේශයේ කම්හල් වල සේවකයින් ස්ථිර සේවය සදහා බදවා නොගෙන තාවකාලිකව දිනපතා වැටුප් ගෙවමින් ” මෑන් පවර් ” ක්‍රමයට සේවකයින් සේවය සදහා යොදා ගැනීම හේතුවෙන් මෙම වෛරසය මෙම ප්‍රදේශය පුරා පැතිර යාමට හේතු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි වෛද්‍ය මිගාර ඈපා සඳහන් කරයි.

එමෙන්ම කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ පසුගිය 14 වෙනි දින සිදු කළ PCR පරීක්ෂණ 820 ක් අතුරින් 450 දෙනෙකුගේ ප්‍රතිඵල තමන් වෙත මේ වනවිට ලැබී ඇති බවත් ඒවා අතරින් 47 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද කටුනායක, සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර සඳහන් කරයි.

ඒ අනුව මෙම රෝගීන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට අවශ්‍ය වුවද මේ වනවිට ඒ සදහා අවශ්‍ය රෝහල් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්වී ඇතැයි ද සුරේෂ් කුමාර මහතා පෙන්වා දෙයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)