ඊෂිකෑෂ් ක්‍රමයෙන් රුපියල් කෝටි 4ක් සෙවූ කොළඹ නගරසභා සේවකයා

ඊෂිකෑෂ් ක්‍රමයෙන් රුපියල් කෝටි 4ක් සෙවූ කොළඹ නගරසභා සේවකයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊෂිකෑෂ් ක්‍රමයෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් උපයාගත් බව කියන, කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියත්ත ලියනගේ මහතා ඊයේ (21) නීයෝග කළේය.

ඒ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තම සහෝදරයාගේ හෙරොයින් ජාවාරමට ආධාර උපකාර කිරීමට මෙලෙස මුදල් එකතු කර ඇති බව හෙළි වීමත් සමඟය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “ඒ” වාට්ටුවේ සිර අංක 1840 දරන “දනුෂ රසාංග” නමැත්තා බන්ධනාගාරය තුළ සිටිමින් “ඊෂි කෑෂ් ක්‍රමයෙන්” හෙරොයින් ජාවාරම් කර  රුපියල් කෝටි 05කට අධික මුදලක් උපයාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ආරම්භ කළ විමර්ශනයට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ  දෙපාරතමේන්තූව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ “දනුෂ රසාංග” යන අයගේ සහෝදරයා වූ, නො. 26, අයි.ඩී.එච්. පාර, සාලමුල්ල, කොළොන්නාව ලිපිනයේ පදිංචි, කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු වන කොකු හැන්දිගේ තිසර තරංග නමැත්තාය.

‘ඊසි කෑෂ් ‘ ක්‍රමය උපයෝගී කර ගනිමින්, සැකකටයුතු  ලෙස ඉපැයූ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් 2006 අංක 06 දරන මුදල් විශුද්ධිකරණ පනතේ 03 වන වගක්තිය ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද විමලසිරි මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

“ඊසි කැෂ්” ක්‍රමය සහ ‘එම් කෑෂ්’ ක්‍රමය මගින් නීති විරෝධීව මුදල් උපයා ඇති බවට මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් ඉකුත් ජුලි මස 03 වැනිදාය.

එම පැමිණිල්ලට අනුව සැකකටයුතු ලෙස මුදල් ගනුදෙනු සිදුකර ඇතැයි සඳහන් වන දනුක රසාංග නැමැත්තාගේ බිරිඳ වන සාලමුල්ල, කොළොන්නාවේ පදිංචි බි.ජී. සමන්තා ප්‍රියදර්ශනී යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, ඇය 2014, 2017 සහ 2018 යන වර්ෂවල දී ජංගම දුරකතන සිම්කාඩ්පත් 05ක් මිලදී ගෙන ඇති බවට ප්‍රකාශ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)